සත්ත්ව ලෝකයේ කරුණු කිහිපයක් ගැන ඇත්ත නැත්ත

Dharani Weerasinghe

Contributor

සත්ත්ව ලෝකය විවිධයි. ඒ වගේම අපූරුයි. පුංචි කාලේ සිටම සත්ත්ව ලෝකයේ අපූර්වත්වය ගැන අපි නොයෙක් කතා අහලා තියෙනවා. මේ කථාන්තරවල ඇත්ත නැත්ත ගැන විමසීමක් කරන්න යි අපේ මේ සූදානම.

බල්ලන්ට පෙනෙන්නේ කළු-සුදු පැහැයෙන් පමණද?

එකම ඡායාරූපය මිනිසෙකුට සහ සුනඛයෙකුට පෙනෙන අයුරු (vashipitomcy.ru)
එකම ඡායාරූපය මිනිසෙකුට සහ සුනඛයෙකුට පෙනෙන අයුරු (vashipitomcy.ru)

අපි බොහෝ දෙනෙක් අහලා තියෙන කතාවක් තමයි බල්ලෙක්ට පෙනෙන්නේ කළු සහ සුදු පැහැයන්ගෙන් පමණයි කියන කතාව. බොහෝම මෑතක් වෙන තුරු පශු වෛද්‍යවරුන් පවා විශ්වාස කළේ සුනඛයින් ලෝකය දකින්නේ ඒකවර්ණ සිතුවමක් ලෙස කියලයි. ඒ අනුව විවිධ කාර්යයන් සඳහා සුනඛයින්ව පුහුණු කිරීමේදී විවිධ වර්ණයන්ගෙන් යුතු උපකරණ භාවිතා කිරීමෙන් ඔවුන් වැළකී සිටියා.

නමුත් නවතම පර්යේෂණයකට අනුව සොයාගෙන තිබෙන කාරණාවක් තමයි බල්ලන්ට මිනිසුන් තරමටම වර්ණ දැකීමට හැකියාවක් නැතත් කළු-සුදු පැහැයන්ගෙන් ඔබ්බට ගිය වර්ණ දැකීමේ පරාසයක් ඇති බව. ඒ අනුව මූලික වශයෙන්ම ඔවුන්ට කහ, නිල් සහ අළු පැහැයන් හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. එසේම මෙම පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව බල්ලන්ට රතු සහ කොළ පැහැයෙන් හඳුනා ගැනීමට නොහැකි බව අනාවරණය වී තිබෙනවා. ඔවුන්ට එම පැහැයන් කහ පැහැය මුසු වූ තද අළු පැහැයක් ලෙස පෙනෙන බවයි පර්යේෂකයන්ගේ අදහස වන්නේ.

රතු පැහැය ගොනුන්ව කෝප ගන්වනවාද?

ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායික ගොන් පොර තරඟයක් (clearlyveg.com)
ස්පාඤ්ඤයේ සාම්ප්‍රදායික ගොන් පොර තරඟයක් (clearlyveg.com)

ගොන් පොර කියන්නේ ස්පාඤ්ඤයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. සාම්ප්‍රදායික ගොන් පොරයකදී බොහෝ විට රතු පැහැති ඇඳුමකින් සැරසුණු තරඟ මෙහෙයවන්නෙක් ගොනාව කෝප ගැන්වීම සඳහා රතු පැහැති ධජයක් යොදා ගන්නා ආකාරය ඔබ අනේක වාරයක් දැක ඇති. ඇත්තටම රතු පැහැයට ගොනුන්ව කෝප ගැන්වීමට පුළුවන්ද? මේ කතාව අමූලික බොරුවක් බවයි විද්‍යාඥයින් පවසන්නේ. පර්යේෂණ මගින් තහවුරුව ඇති ආකාරයට පශු වර්ගයේ අනෙකුත් සතුන් මෙන්ම ගොනුන්ද රතු-කොළ අන්ධතාවයෙන් පෙළෙනවා. එහෙමනම් ඉතින් ගොන් පොරයකදී ගොනෙක්ව කෝප ගන්වන්නේ කුමක්ද?

රතු පැහැති ධජයක් ගොනෙක් ඉදිරියේ ලෙළ දෙන විට ඇත්ත වශයෙන්ම එම සත්ත්වයාව කෝප ගන්වන්නේ එම ධජයේ වර්ණය නොව ඒ මගින් ඇති කරන ක්ෂණික චලනයයි. ධජයේ වර්ණය කුමක් වුවත් එයින් ඇති කරන චලනය මගින් කෝපයට පත් වෙන සත්ත්වයා විසින් අදාළ චලනය ඇති කරන පුද්ගලයාට හෝ වස්තුවට පහර දීම සිදු කරනවා.

ගෙම්බෙක්ව ඇල්ලුවොත් කුෂ්ඨ හැදෙයිද?

කුෂ්ඨවලට හේතුව වෛරසයක් මිස ගෙම්බෙක් ව ඇල්ලීම නොවේ (susankroupa.com)
කුෂ්ඨවලට හේතුව වෛරසයක් මිස ගෙම්බෙක් ව ඇල්ලීම නොවේ (susankroupa.com)

පැරැන්නන් විතරක් නෙමෙයි දැනටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණාවක් තමයි ගෙම්බෙක්ව ඇල්ලුවොත් කුෂ්ඨ හැදෙනවා කියන කතාව. මේකට හේතු වෙලා තියෙන්නේ අපි දකින බොහෝමයක් ගෙම්බන්ගේ සහ මැඬියන්ගේ සමේ ඇති කුෂ්ඨ මෙන් පෙනෙන ඉලිප්පීම්.

නමුත් ඇත්තටම කාට හරි කුෂ්ඨ රෝගයක් තිබෙනවා නම් ඒකට හේතුව වෛරසයක් මිසක් ගෙම්බෙක්ව හෝ මැඬියෙක්ව ස්පර්ශ කිරීම නම් නෙමෙයි. බොහෝමයක් ගෙම්බන් අහිංසක වුණත් ඇතැම් ගෙම්බන්ගේ සම සහ කන පිටුපස ඇති ඉලිප්පීම් මරණීය විෂ සහිතයි.

කටුස්සෝ පාට මාරු කරන්නේ පරිසරයට ගැළපෙන්නද?

ළා පැහැයන් මගින් සහකරුවෙකුගේ හෝ සහකාරියකගේ අවශ්‍යතාවය (thinglink.com)
ළා පැහැයන් මගින් සහකරුවෙකුගේ හෝ සහකාරියකගේ අවශ්‍යතාවය (thinglink.com)

ගෙවත්තේ තැනින් තැනට වෙලා කාටත් හොරෙන් අව්ව තපින කටුස්සෙක්ව අපිට දකින්න ලැබෙන්නේ හොඳින් නිරීක්ෂණය කරොත් විතරයි. ඒ ඔවුන් පරිසරයට ගැළපෙන්න පාට මාරු කරන නිසාද? පොඩි කාලේ ඉඳලා අපිට අහන්න ලැබෙන කතාවක් තමයි සතුරන් ආරක්ෂාවී සැඟවීම සඳහා කටුස්සන් තමන් වෙසෙන පරිසරයට අනුකූල ව සමේ වර්ණය වෙනස් කරන බව.

නමුත් සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට කටුස්සන් ඇත්ත වශයෙන්ම පාට මාරු කරන්නේ ඔවුන් කායික, මානසික සහ චිත්තවේගී වෙනස්වීම අනුවයි. දැනට සිදු කර ඇති පර්යේෂණ අනුව තද පැහැයන් මගින් කෝපයද, ළා පැහැයන් මගින් සහකරුවෙකුගේ හෝ සහකාරියකගේ අවශ්‍යතාවයද පෙන්නුම් කරනවා.

ඇතැම් කටුස්සන් පාරිසරික උෂ්ණත්වය මත සිරුර උණුසුම්ව තබා ගැනීම උපක්‍රමයක් ලෙස වර්ණය වෙනස් කිරීම සිදුකරනවා. එසේම සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ කටුස්සන් වැනි ඉතාමත් වේගවත් සත්ත්ව කොට්ඨාසයකට සතුරන්ගෙන් බේරී පලායාම ඉතාමත් පහසු කටයුත්තක් නිසා ආරක්ෂක උපක්‍රමයක් ලෙස වර්ණ වෙනස් කිරීම අනවශ්‍ය බවයි.

නිල් තල්මසෙක්ට මෝටර් රථයක් ගිල දමන්න පුළුවන්ද?

ලෝකයේ විශාලම සත්ත්වයා වන නිල් තල්මසා අනෙකුත් සතුන්ට සාපේක්ෂව. (pinterest.com)
ලෝකයේ විශාලම සත්ත්වයා වන නිල් තල්මසා අනෙකුත් සතුන්ට සාපේක්ෂව. (pinterest.com)

සත්ත්ව ලෝකයේ විශාලම සත්ත්වයා ලෙස සැලකෙන්නේ නිල් තල්මසායි. සම්පූර්ණයෙන් වැඩුණු නිල් තල්මසෙක් සාමාන්‍යයෙන් මීටර් 30 ක පමණ දිගින් යුක්ත වන අතර ටොන් 170 ක් පමණ බරයි. මේ තරම් විශාල සත්ත්වයෙකුට මිනිසෙක්ව හෝ මෝටර් රථයක් ගිල දමන එක මහ ලොකු වැඩක්ද?

නමුත් ඇත්ත වශයෙන්ම නිල් තල්මසෙකුට ගිල දැමිය හැකි විශාලම දේ වන්නේ ග්‍රේප්ෆෘට් (එනම් දොඩම් ගෙඩියකට සමාන අර්ධ නිවර්තන කලාපීය රටවල වැවෙන පලතුරු විශේෂයක්) ගෙඩියකුයි. නිල් තල්මසුන් බොහෝ විට ආහාරයට ගන්නේ ගැඹුරු මුහුදේ ජීවත් වන හැඩයෙන් කූනිස්සෙකුට සමාන ක්‍රිල් නම් කුඩා මසුන් විශේෂයක්. යම් හෙයකින් නිල් තල්මසෙක් මිනිසෙකුව ගිල දැමුවහොත් ඔහුව උගුරේ සිරවීම නිසා නිල් තල්මසා මියයන බවයි සත්ත්ව විද්‍යාඥයින් පවසන්නේ.

මීයෝ ඇත්තටම චීස් කන්න ආසද?

මීයන්ට ඇමක් විදියට චීස් යොදා ගැනීම අසාර්ථක උපක්‍රමයක් (lee-collins.com)
මීයන්ට ඇමක් විදියට චීස් යොදා ගැනීම අසාර්ථක උපක්‍රමයක් (lee-collins.com)

පුංචි කාලේ ‘ටොම් ඇන්ඩ් ජෙරී’ බලපු අයට නම් ජෙරීව අල්ලා ගන්න ටොම් උගුල් අටවනකොට හුඟක් වෙලාවට ඇමක් විදියට චීස් කෑල්ලක් පාවිච්චි කරපු විදිය අමතක නැතුව ඇති. නමුත් මෑත කාලීන පර්යේෂණ මගින් මීයන් බොහෝ අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම චීස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව තහවුරු වෙලා තිබෙනවා.

අනෙකුත් කෘදන්තයින් (rodents) වගේම මීයන්ද වැඩි වශයෙන් ආහාරයට ගන්නේ ධාන්‍ය වර්ග, එළවළු සහ පලතුරුයි. එසේම බොහෝමයක් චීස් මගින් වහනය වන ප්‍රබල සුගන්ධය තියුණු නාසයක් ඇති මීයන්ට ඉතා අමිහිරි බවයි පර්යේෂණ මගින් හෙළිදරව් වී ඇත්තේ. ඒ අනුව පැණි රස කෑමට දැඩි ඇල්මක් දක්වන මීයන්ට ඇමක් හැටියට චීස් කෑල්ලක් යොදා ගන්නවාට වඩා චොකලට් කෑල්ලක් යොදා ගැනීම වඩා ප්‍රතිඵලදායක බව නම් අවිවාදාත්මකයි.

සිසිර සෘතුවේදී සතුන් නිදා ගන්නේ දැඩි සීතල නිසාද?

ශිශිර තරණයට හේතුව ආහාර හිඟකම (tuviral.com)
ශිශිර තරණයට හේතුව ආහාර හිඟකම (tuviral.com)

ශ්‍රී ලංකාවේ අපිට සිසිර සෘතුවක් දකින්නට නොමැති වුණත් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි කියන්නේ උතුරු අර්ධගෝලයේ රටවලට හිම වැටෙන කාලයයි. මේ කාලය තුළ දී කෘදන්තයින්, වලසුන් මෙන්ම උරගයින් වැනි බොහෝමයක් සතුන් ශිශිර තරණය (එනම් සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලින් බැහැරව දීර්ඝ නින්දකට වැටීම) කරනවා. මේකට හේතුව සිසිර සෘතුවේ පරිසරයේ ඇති අධික සීතලද?

බොහෝමයක් සතුන් මෙසේ ශිශිර තරණය කරන්නේ ආහාර හිඟකම නිසා ඇති වන සාගින්නෙන් මියයාම වළක්වා ගැනීමට මිසක් සීතල දරා ගත නොහැකි නිසා නෙමෙයි. නමුත් සතුන් සීතල නිසා ශිශිර තරණය කරනවා යන මතයේ යම් සත්‍යතාවයකුත් පවතිනවා.

අචලතාපීන් (එනම් නිශ්චිත ශරීර උෂ්ණත්වයක් ඇති) වන ක්ෂීරපායීන්ට සහ පක්ෂීන්ට නිසිලෙස ආහාර ගැනීම මගින් සිරුරේ උෂ්ණත්වය ඒකාකාරව පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා. එමනිසා දැඩි සීතල වුවත් දරාගැනීමේ හැකියාව ඔවුන්ට පවතිනවා. නමුත් සිසිර සෘතුවේ ආහාර හිඟයක් පවතින විටෙක ගන්නා ආහාර සිරුරේ උෂ්ණත්වය පවත්වා ගැනීමට යොදා ගැනීම මගින් අනෙකුත් පරිවෘත්තීය ක්‍රියා ඉටු කිරීමට නොහැකිව මිය යාම වළක්වා ගැනීමට බොහෝමයක් සතුන් ශිශිර තරණය කරනවා.

මිනිස් ගන්ධය දැනෙන පැටවුන්ව කුරුලු අම්මා ප්‍රතික්ෂේප කරයිද?

කුරුලු පැටියෙක්ව නැවත කූඩුවෙන් තැබීමට මැලිවෙන්න එපා (petkid.wordpress.com)
කුරුලු පැටියෙක්ව නැවත කූඩුවෙන් තැබීමට මැලිවෙන්න එපා (petkid.wordpress.com)

මුල්ම වතාවට පියාඹන්න ඉගෙනගන්න කුරුලු පැටවුන් කූඩුවෙන් පිටතට වැටීම ඉතාමත් සුලබ දෙයක්. මෙවැනි අවස්ථාවකදී බොහෝමයක් දෙනා කුරුලු පැටවුන්ව යළිත් කූඩුවෙන් තැබීමට මැලිකමක් දක්වනවා. එයට හේතුව මිනිස් ගන්ධය දැනුනොත් කුරුලු අම්මා තම පැටවුන්ව නැවත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවට අපි අතර මතයක් පැවතීමයි.

නමුත් ඉව ඇල්ලීම සඳහා ඉතාමත් දුර්වල සත්ත්ව කොට්ඨාශයක් වන පක්ෂීන් සම්බන්ධ මෙම මතය අමූලික බොරුවක් බවයි පක්ෂි විශේෂඥයින් පවසන්නේ. එමනිසා බොහෝමයක් පක්ෂීන්ට මිනිස් ගන්ධය පිළිබඳව දැනීමක් නැහැ. එනිසා කූඩුවෙන් පිටතට වැටුණු කුරුලු පැටියෙක්ව නැවත වරක් කූඩුවෙන් තැබීමට කවුරුත් මැලිකමක් දැක්විය යුතු නැහැ. නමුත් කූඩුව සකසන හෝ බිත්තර දමන කාලය තුළ යම් ආකාරයක බාධාවක් සිදු වුවහොත් කුරුල්ලන් වහාම වෙනත් ස්ථානයක් කරා යෑම වැළැක්විය නොහැකියි.

මූලාශ්‍ර: brightside.me, en.wikipedia.org, dailymail.co.uk, scienceabc.com, nationalgeographic.com, science.howstuffworks.com, wonderopolis.org, livescience.com, scientificamerican.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි