විදු ලොව දස්කම් පෑ ලංකාවේ විද්‍යාඥයින් දෙදෙනෙක්

Lasantha Kularatna

Contributor

විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළින් හිනිපෙත්තටම ගමන් කරමින් ශ්‍රී ලාංකික නාමය ලොව ඉදිරියට ගෙන ගිය විද්‍යාඥයන් රැසක් දකින්නට පුළුවන්. ඒ විද්‍යාඥයන් අතුරින් විද්‍යාවේ පැවැත්මට අනඟි මෙහෙවරක් ඉටුකළ විද්වතුන් දෙදෙනෙක් පිළිබඳවයි මේ ලිපිය ලියවෙන්නේ. සම්ප්‍රදායික විද්‍යා ගවේෂණයේ සිමා මායිම් ඉක්මවා ගිය ඔවුන්ගෙන් සිදු වූ සේවාව පිළිබඳව දැන ගැනීමට මෙම ලිපිය පිටුවහලක් වේවි.

මීට අමතරව මොවුන්ගෙන් විද්‍යාව හා තාක්ෂණයට වූ සේවාවන් තියනවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

යටියන්තොටින් නාසා ආයතනයට ගිය ආචාර්ය ගුණපාල

ෆාත් ෆයින්ඩර් යානාවේ අධෝරක්ත කැමරාව (JPL - NASA)
ෆාත් ෆයින්ඩර් යානාවේ අධෝරක්ත කැමරාව (JPL – NASA)

ආචාර්ය සරත් ගුණපාල යනු ශ්‍රී ලාංකික නාමය ලොව සුපතල කළ අපේ කාලයේ වීරයෙක් ලෙස හදුන්වා දෙන්නට හැකි පුද්ගලයෙක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ග්‍රාමයේ උපත ලබන සරත් ඩේවිඩ් ගුණපාල මුලින්ම අධ්‍යාපනය ලබන්නේ යටියන්තොට සිරිවර්ධන විද්‍යාලයෙන්. පසුව කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළු වන සරත් ගුණපාල උසස් අධ්‍යාපනය සඳහා කොළඹ සරසවියට ඇතුලත් වීමට සුදුසුකම් ලබනවා.

කොළඹ සරසවියෙන් 1979 දී පළමු පෙළ ගෞරව සමාර්ථයක්‌ සමඟ භෞතික විද්‍යා උපාධිය ලබා පිටවන ගුණපාලයන් පසුව ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නවා. කලක් ඇමෙරිකාවේ ATNT ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාල ලොව හොදම අභ්‍යවකාශ විද්‍යාගාරය ලෙස සැළකෙන නාසා ආයතනයට එක් වන්නේ 1991 වර්ෂයේදියි.

ඇමරිකානු රජයේ වියදමින් පාලනය වන නාසා ආයතනය සඳහා විදේශිකයන් බදවාගනු ලබන්නේ ඔවුන් අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව උපරිම දැනුම මට්ටමකින් හා උපරිම අවශ්‍යතා සපුරා සිටීනම් පමණයි.

නාසා වල ඔහුගේ භූමිකාව

ආචාර්ය ගුණපාලගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම -මෙහි මැද සිටින්නේ ආචාර්ය සරත් ගුණපාලයි (JPL - NASA)
ආචාර්ය ගුණපාලගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම -මෙහි මැද සිටින්නේ ආචාර්ය සරත් ගුණපාලයි (JPL – NASA)

ආචාර්ය ගුණපාල මුලින් ම නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාගාර එකක් වන ලොස් ඇන්ජලීස් හි ජෙට් ප්‍රපල්ෂන් විද්‍යාගාරයට (Jet Propulsion Laboratory) සාමාන්‍ය විද්‍යාඥයෙක් ලෙස සම්බන්ධ වෙන්නේ 1991 වර්ෂයේදීයි. පසුව ඔහු යොමු වුණේ අධෝරක්ත කිරණ කැමරා නිර්මාණ ක්‍රියාවලියට. JPL විද්‍යාගාරය තමයි නාසා ආයතනයේ ප්‍රධානම විද්‍යාගාරය. එහි අරමුණ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයටත් ඊට පිටතින් ඇති ප්‍රදේශවලටත් යවා එහි පරිසරයත් ජිවීන් සිටීද යන්න පරීක්ෂා කිරීමයි.

ආචාර්ය ගුණපාල වර්තමානය වන විට නාසා ආයතනයේ කොයි වගේ වගකීමක්ද දරන්නේ කියලා ඔහුගේම වචන වලින් පහත දැක්වෙනවා.

“මම දැන් නාසා එකේ ‘ෆෙලෝ සයන්ටිස්ට්’ කෙනෙක්. නාසා එකේ විද්‍යාගාර 10 ක් තිබෙනවා. ලොකු ඒවා 5 යි. පොඩි ඒවා 5 යි. අපේ එක ලොකුම එකක්. මේවායේ විද්‍යාඥයන් 60,000ක් විතර ඉන්නවා. ඉන් 80ක් පමණයි ෆෙලෝ සයන්ස්ටිස්ට්ලා ඉන්නේ. මම වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ විද්‍යාඥයන් 10,000ක් ඉන්නවා. ඉන් ෆෙලෝ සයන්ටිස්ට්ලා ඉන්නේ 20 දෙනයි. ශ්‍රී ලාංකිකයකුට නාසා එකේ ෆෙලෝ සයන්ටිස්ට් වීමට අවස්ථාව ලැබුණු මුල්ම අවස්ථාව මේකයි. නාසා එකේ ඉන්න එකම සිංහල ශ්‍රී ලාංකික ෆෙලෝ සයන්ටිස්ට් මමයි. ඒක මට වඩා රටට ආඩම්බරයක්.”

නාසා ආයතනයේදී පෑ දස්කම්

1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යානයක් යවන ලද්දේ එහි ජලය තිබේදැයි සොයා බලන්නයි. ඒ සඳහා යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයටත්, ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (PATHFINDER යානය) නම් චන්ද්‍රිකාවටත් අධෝරක්ත කිරණ කැමරාව නිර්මාණය කරනු ලැබුවේ ආචාර්ය ගුණපාලය. පාත් ෆයින්ඩර් යානයේ කැමරාව මඟින් ත්‍රිමාණ හා සාමාන්‍ය ඡායාරූප ගැනීමට අමතරව අඟහරු ලොවට එන තරංග ආයාමවල තත්ත්වය, එහි උෂ්ණත්වය වෙනස් වෙන අයුරු හා කාලගුණ රටා ආදිය පිළිබඳ දත්ත ලබාගෙන පෘථිවියට එවා ඇත.

2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයේ ලේසර් උපකරණයට සම්බන්ධව තිබෙන විශේෂ කොටසක් වන්නේ “සෑම්” නැමති අංගයයි. මෙම “සෑම්” හි TLE නමින් හැඳින්වෙන ලේසර් කිරණ නිෂ්පාදනය කර ඇත්තේ ශ්‍රී ලාංකික විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයි. ලේසර් කිරණ මගින් අඟහරු ග්‍රහයාගේ වායු ගෝලය මත මීතේන් වායුව තිබේදැයි ප්‍රධාන ලෙස සොයා බලයි. මීතේන් වායුව පිළිබඳව කරන පර්යේෂණ මගින් අඟහරු මත මීට පෙර ජීවයක් තිබුණා ද ඉදිරියට ජීවයක් ඇතිවේද යන්න පිළිබඳ පර්යේෂණ කර තීන්දු තීරණ ගැනීමට ද හැකිවනු බව නාසා ආයතනය සඳහන් කරනවා.

නාසා ආයතනය මඟින් අඟහරුට 2020 දී අලුත් පර්යේෂණ යානාවක් යැවීමට නියමිතව පවතිනවා. අඟහරු ලෝකයේ ජීවයක් තිබුණාද නැත්නම් ක්ෂුද්‍ර ජීවින් වගේ ජීවින් තවමත් ඉන්නවාද කියල හොයන එක සමඟ ජීවින් සිටියානම් ඔවුන් සිටි කාලය සොයා බැලීම මෙහි මුලික අරමුණ වෙනවා. එය “කියුරියෝසිටි” යානයට සමානයි. ස්ථිර නමක් යොදා නැති බැවින් දැනට හදුන්වන්නේ 2020 “මාර්ස්” නමිනුයි. යානයේ සුවිශේෂි කැමරාවල තාක්ෂණික උපකරණවල කටයුතු කරන්නට නියමිතව තිබෙන්නෙත් ආචාර්ය ගුණපාලගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමටයි.

ශ්‍රී ලාංකික ආචාර්ය සරත් ගුණපාලගේ විශේෂ දක්ෂතා මත 1999 දී ඇමෙරිකාවේ පිහිටි සියලු රාජ්‍ය පර්යේෂණ ආයතනවල දක්ෂතම පර්යේෂකයා බවට පත්වීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේ නාසා ආයතනයත් ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වීම නිසයි. ඒ වෙනුවෙන් ඔහුට NASA – AIAA සම්මානය සමඟ ඇමෙරිකන් ඩොලර් 10,000 ක් හිමි වීම අප රටට ද විශාල කීර්තියක්. ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන “නාලන්දා කීර්ති ශ්‍රී” සම්මානය පිරිනමනු ලබනවා.

“පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්.”- මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම

මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (Open Minds!)
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (Open Minds!)

“පස් පාටියේ ලොක්කා අපේ කොල්ලෙක්” ඒ 70 දශකයේ අපේ රටේ ප්‍රසිද්ධ වූ ගීත ඛණ්ඩයක්. පෘතුවියෙන් මුල් වරට චන්ද්‍රයා වෙත යැවූ ඇපලෝ යානය ඇතුළු 1969-1972 වර්ෂ වල සද තරණ ව්‍යාපෘතිය යටතේ චන්ද්‍රයා වෙත යවන ලද යානා හයක් මඟින් පස් 381.7kg පෘතුවිය වෙත ගෙන්වනු ලැබුවා. මෙම පස් සාම්පල පරික්ෂා කිරීමේ නාසා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමේ නායකත්වය හිමි වූයේ ශ්‍රී ලංකික විද්‍යාඥයකුට බව සමහර විට ඔබ නොදන්නවා ඇති.

ඔහු අන් කිසිවකුත් නොව ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමයි. නාසා ආයතනයේ අංශ ප්‍රධානී තත්ත්වයට පත්ව සමස්ත පර්යේෂණ කණ්ඩායමක නායකත්වය දරා ඇති ප්‍රථම ලාංකිකයා සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුමයි. මේ ගීත ඛණ්ඩයෙන් ශ්‍රී ලාංකිකයන් ආඩම්බරයෙන් කථා කලේ ඔහු පිළිබඳවයි.

1923 ඔක්තෝබර් 16 වැනිදා ගාල්ලේ උපත ලබා ගාල්ලේ සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහුගේ ඔහු 1948 දී ඉන්දියාවේ මදුරාසි සරසවියෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1959 දී ලන්ඩන් සරසවියෙන් විද්‍යාවේදී උපාධියත් ලබා ගන්නවා. 1962 දී ඇමෙරිකාවේ බර්ක්ලිහි කැලිෆෝනියා සරසවියෙන් රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලබා ගන්නවා.

1962-1971 කාලය තුළ NASA ආයතනයේ ජීවයේ සම්භවය පිළිබඳව රසායනික පසුබිම අධ්‍යයනය කළ පර්යේෂණ කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළ පොන්නම්පෙරුම 1971 දී මේරිලන්ඩ් සරසවියේ ජෛව රසායන විද්‍යා මහාචාර්ය ධුරය සඳහා පත් වෙනවා. නිබන්ධන 400 කට වැඩි ගණනක් පළ කළ ඔහු රසායන විද්‍යාව, ජීවයේ සම්භවය, ජාතික සංවර්ධනයට විද්‍යාව යොදා ගැනීම ආදී තේමා යටතේ ග්‍රන්ථ පළ කර තිබෙනවා.

මහාචාර්ය පොන්නම්පෙරුමගෙන් රටට සිදු වූ සේවය

එවකට හද ගමන පිලිබඳ සටහන් කළ සිංහල පුවත්පතක් (Welcome to Flickr!)
එවකට හද ගමන පිලිබඳ සටහන් කළ සිංහල පුවත්පතක් (Welcome to Flickr!)

තෙවරක්ම නොබෙල් සම්මානය සඳහා නිර්දේශ වුනු මහාචාර්ය පොන්නම්පෙරුම 1984 දී මවු රටට සේවය කිරීම සඳහා පැමිණෙන්නේ එවකට ජනාධිපති වූ ජේ. ආර් ජයවර්ධන මහතාගේ ආරාධනාවකට අනුවයි. මෙරටට පැමිණෙන ඔහු ජනාධිපති විද්‍යා උපදේශක මෙන්ම මූලික අධ්‍යයන ආයතනයේ (Institute of Fundamental Studies, IFS) අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කරන්නට විය.

ඔහුට අවශ්‍ය වූයේ දැනුම් ගවේෂණයෙන් ඉවත් වී, මුළුගැන්වී සිටි අපේ දක්ෂ තරුණ පර්යේෂකයන් දිරිමත් කොට ලෝක මට්ටමේ විද්‍යා පර්යේෂණ කිරීමට ඔවුන්ට පහසුකම්, අවස්ථාව හා මඟ පෙන්වීම මෙරටදී ලබා දීමයි. බුද්ධි ගලනය නතර කර රට හැරදා ගිය උගතුන් යළි මෙහි ගෙන්වා ගැනීම ද ඔහුගේ අරමුණක් වුණා. ඔහු සම්ප්‍රදායික පර්යේෂණ ක්ෂේත්‍රයේ ක්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්ෂ සිසුන්ට සංවාදමය කථිකාවතක් නිර්මාණය කිරීම උදෙසා කෙටි සම්මන්ත්‍රණ (Research colloquium) ශ්‍රී ලංකාවට හදුන්වා දෙන්නට පුරෝගාමීව කටයුතු කළ විද්වතෙක්.

1960 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන ද්‍රව්‍ය මඟින් අස්වනු මට්ටම ඉහළ ගියත් එයින් ගොවියා මෙන්ම ශ්‍රී ලංකාවත් විදේශවලට ණය වන බව දුටු ඔහු පර්යේෂකයන්ට දුන් උපදේශය වූයේ ගොවිතැනට අවශ්‍ය පොහොර මෙන්ම එය නිපදවා ගන්නා ක්‍රම දියුණු කිරීමට කටයුතු කරන ලෙසයි. වාතයෙන් නයිට්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් එම උපදෙස් වල ප්‍රතිඵල ලෙස හදුන්වන්න පුළුවන්.

අනෙක් රටවලටත් තමන්ගේ සේවාව ලබා දුන් අයුරු

සිරිල් පොන්නම්පෙරුම ජෝර්ජ් කිට් සමඟ (Open Minds)
සිරිල් පොන්නම්පෙරුම ජෝර්ජ් කිට් සමඟ (Open Minds)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා යුනෙස්කෝව මෙන් ම තෙවන ලොව විද්‍යා ඇකඩමිය (TWAS) නම් විද්‍යාත්මක සංවිධානය හරහා ඉමහත් සේවයක් කළ ආචාර්ය පොන්නම්පෙරුම උපසභාපති ලෙස එහි දිගු කලක් ක්‍රියා කරනු ලැබුවා. පාකිස්ථානු භෞතික විද්‍යාඥ ආචාර්ය අබ්දුස් සලාම් සමඟ සමීපව වැඩ කරමින් ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ දක්ෂ විද්‍යාඥයින්ට ලෝක මට්ටමේ පර්යේෂණ කරන්න TWAS හරහා අවස්ථාව ලබා දුන්නා.

1994 දෙසැම්බර් 25 වනදා සිරිල් පොන්නම්පෙරුම මියයන්නේ ඔහු තම ජීවිතයේ අවසාන කාලය ගත කල ඇමරිකා එක්සත් ජනපදයේදීයි. තම ජිවිතයේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව කනස්සල්ලෙන් පසු වූ බවත් ඊට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ නව විද්‍යාත්මක පර්යේෂණයන්ට ශ්‍රී ලංකා රජයෙන් කිසිඳු දිරිමත් කිරීමක් නොලැබීමයි.

මේ ලිපිය තුළින් ඔබට හදුන්වා දුන්නේ ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය විද්‍යාඥයන් කිහිප දෙනාගෙන් දෙදෙනෙක් පමණයි. ශ්‍රී ලංකාව වැනි තුන් වන ලෝකයේ වර්ධනය වෙමින් පවතින රටක විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. එවැනි වැටකඩුලු, සීමා මායිම් බිඳදමා නවීන විද්‍යාවේ මහ ගෙදර ලෙස සම්මත නාසා ආයතනයේ අංශ ප්‍රධානින් දක්වා ඔවුන් ගිය ගමන ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමදා අගය කළ යුතුය.

කවරයේ පින්තුරය: fansshare.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි